Friday, April 17, 2009

Sadhani & Hiruni Sisters


එකම අහස් කුසේ පිපී දිළෙන ඉරක් සහ සඳක් ගැන ගුණ වරුණ දැනගන්නටයි මේ සූදානම. මේ පුංචි දියණියන් දෙදෙනාගේ ඡායාරූප දිහා බලන් ඉන්න කොට ඔබගේ හිත විවිධ තැන්වල නතර වෙන බව මං හොඳ හැටි දන්නවා. මතකයි නේද මේ පුංචි මුහුණු දෙක.

මේ තරු යුග්මයේ අක්කා සඳනි. නැගණිය හිරුනි. ඒකයි මම කිව්වේ එකම අහසක නැගී හිනැහෙන, එළිය දිදුලන දෙදෙනෙක් අප හමු වන වග.

අපි මුලින්ම කතා කරන්නේ සඳනි ගැන.

රන් කැකුළු, හෙපටයිටීස් රෝගය දැනුවත් කිරීම, රින්, ක්ලෝගාර්ඩ්, ලාඕජී, කාගිල්ස් මැජික් වැනි වෙළෙඳ දැන්වීම් හරහා නිතර ඔබේ ආලින්දයට ගොඩ වන සඳනි නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සඳනිට කලා කුසලතා හැකියාව ඇති වුණේ කුඩා වියේදීමයි.

පවර සුජිත් මාරඹගේ ගේ කැමරා කාචයේ සිත්තම් වූ සඳනිගේ රුවින් හැඩ වූ දින දර්ශන ප‍්‍රමාණය අති විශාලයි.

කුඩාම කාලයේ සිට කලාව අතපත ගෑ සඳනි රඟපෑමටත් හපනියක්. නිමල් රත්නායකගේ නිල් දිය මල් (ලතා) සරතැස නිම වී (තිලිණි) ලෙස පුංචි තිරය චිත‍්‍රනය කළ සඳනි නාලන් මෙන්ඩිස් ගේ තරු කුමරි සහ අශෝක ආතාවුදහෙට්ටිගේ සද්ගුණාකාරය හරහාත් පෙ‍්‍ර්ක්ෂක හිත් මඬල මත රංගනයේ සිතුවම් මැවුවා.

සෙලාන් ටෙරිට් රිවෝඩිස් පුවත්පත් දැන්වීම හරහා නිරූපණ ක්ෂේත‍්‍රයට පැමිණි සඳනි ඉන් නොවතී රිදී තිරයට ද පිය මැන්නා. ඒ රන් කෙවිට තුළින්.

ඉන් පසුව රෝස කැලේ වගේම ආකාස කුසුම් චිත‍්‍රපටයටත් රංගන දායකත්වය ලබා දෙන්නට සඳනිට හැකියාව ලැබුණා.

පුංචි සඳනි නිවේදන කලාවටත් උපන් හපනියක්. ඒ නිසාම ඈ දෙරණ රූපවාහිනී නාලිකාවේ ළමා නිවේදිකාවක් ලෙසටත් අප හමුවෙනවා. ඒ ටිකිරි පොකුර හරහා.

සඳනිගේ ලොකුම බලාපොරොත්තුව තමයි උගත් කලාකාරිනියක ලෙසට රටට සේවය කිරීම. ඒ වගේම අම්මායි තාත්තයි තමන්ගේ ආදරණීය චූටි නංගියයි හොඳින් රැක බලා ගන්නටත් මේ පුංචි හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.

සඳනිට පසුව අපි හමුවෙන්නේ හිරුනි. හිරුනිත් හැඩකාර දක්ෂතා රැසකින් පිරිපුන් සිඟිත්තියක්. අනුලා බාලිකාවේ හය වැනි වසර ඉගෙනුම ලබන හිරුනි අක්කාගේ රංගන කුසලතා දිහා කුඩා කාලයේ ඉඳලාම බලන් හිටියේ හරිම සතුටින්.

අක්කාගේ දර්ශන තලවලට ගිය මොහොතේදී හිරුනිටත් රඟපාන්නට ආසාව ඇති වූ වාර අනන්තයි.

කෙසේ හෝ අවසන හිරුනි කලා ලොවට පිවිසුණේ වෙළෙඳ දැන්වීම් හරහා. හන්ග‍්‍රි ප්ලස්, නෙස්පෙ‍්‍ර් සීරියල්, රත්ති, ක්ලෝගාඩ්, මොබිටෙල් සුවසෙත වැනි වෙළෙඳ දැන්වීම් තුළ අපූරු රංගන සහ නිරූපණ කාර්යයක යෙදෙන හිරුනි තරු කුමරි, සද්ගුණාකාරය, කින්නර දමනය, ටිකිරි හපන්නු, සඳ මට අහිමියි සහ දෙවෙනි මව් හරහා පුංචි තිරයට පිවිසුණා.

රන් කෙවිට, ආකාස කුසුම් සහ රෝස කැලේ චිත‍්‍රපට හරහා රිදී තිරයට පෑයූ හිරුනි සෙලාන්, මෙරිටි රිවෝඩ්ස්, H N B පැතුම් විමන, ශාන්ති නිවාස වැනි පුවත්පත් වෙළෙඳ දැන්වීම් සඳහා ද පෙනී හිටියා.

අක්කාගේ මඟ යන මේ ආදරණීය නැගණිය හඬ කැවීමටත් හරිම දක්ෂයි. සර්ෆෙක් සල්, ඩයලොග්, ලකී යෝගට් වැනි දැන්වීම් හිරුනිගේ හඩින් සැරසුණා.

මේ දිනවල මේ අක්ක නගෝ ඉතාමත් ජනප‍්‍රිය භාතිය හා සන්තුෂ් ගේ ‘ලංකා මාතා’ ගීතයේ චරිත මවන නිසාමයි.

ඉතාමත් දිගු ගමනකට සැරසෙන මේ ආදරණීය සොහොයුරියන් දෙදෙනා හැබෑම හපනුන්. දැන් ඔබේ හිතේ මේ දෙදෙනා රඟපෑ චරිතවල මතක සටහන් මෝදු වෙලා ඇති. ඒ තරමටම ඔවුන් දෙදෙනා අපට සමීපයි.

No comments: