Sunday, April 12, 2009

Shalani Tharaka


පුංචි තිරයට පැයූ අලුත්ම තරුව ශලිනි තාරකා කියයි.

ශලිනි තාරකා සිරස කුමරිය වූ දින ඇය පිළිබඳව ඇල්මක් හෝ සෙනෙහසක් මා අත් නොවිඳීමි. එහෙත් ඇය සතු මොකක්දෝ සුන්දරත්වයක් බොහෝ රසවතුන්ගේ හදේ රැදි බව නම් මට විශ්වාසය.එය අඩු වැඩි වශයෙන් මසිතේද රැඳී තිබිණි. ශලිනි සිරස කුමරිය වුවාය. අප ඇයට සුබ පැතුම් ගෙන ආවේ අවංක සතුටකිනි.කාලය ගෙවී ගියේය.එහෙත් ඇය යලි ඩාන්සින් ස්ටාර් වේදිකාවට ආවේ පුදුමාකාර සොම්නසක් සහ සුන්දරත්වයක් රසික අපට තිළිණ කරමිනි.අප හා දොඩමළුවන්නට නිමිත්ත ඩාන්සින් ස්ටාර් පමණක් නොවේ.ඇය දැන් ජනපි‍්‍රය නව යොවුන් නිළියකි. කාගේත් ආදරයට ලක්වන යෞවනියකි.ඒ හැර පිළිසඳරට තව බොහෝ දේ වේ.සමහර දේ ඇය මට නොකියා සිටියාය. මා ද සමහර දේ ඇසුවේ නැත. මෙනිසා ඈ නොකියූ මා නොඇසූ දේ තවදුරටත් රහසක්ව පවතිනු.

‘කොහොමද ජීවිතේ’

‘හොඳයි’

‘හොඳයි කියන්නේ’

‘හොඳ හින්දනෙ ඉතින්’

ඇය හිනැහී කියන්නේ අමුතු රටාවකටය. ඒ සිනහවේ හැඩකාර කම පමණක් නොව දඟකාර කමද කටකාරකමද ඕනෑ තරම් වේ.

‘මං හිතුවෙ ඔයා හරි අහිංසක ළමයෙක් කියලා’

‘අපෝ නෑ. ඒ වගේ පෙනුණාට මං එහෙම නෑ’

‘ඒ කියන්නේ නපුරුයි’

‘ටිකක් විතර. හැබැයි මං කාටවත් නපුරුකම් කරන්නේ නෑ.

ඇය තව බොහෝ දේ කියයි. ඒ කිසිවක් නීරස නොවේ. අපේ මුල්ම හමුවීම නිසාදෝ මංදා මා ඇයට ඇහුම්කම් දුන්නේ තරමක උනන්දුවෙනි.

‘ශලිනි හිතන් හිටියේ ඔයා ඩාන්සින් ස්ටාර් වෙයි කියලා.

‘කොහෙත්ම නෑ. මට ඕනෑ වුණේ අවසන් 10 දෙනා අතරටවත් එන්න ඕනෑ කියල විතරයි. කොහොම හරි අන්තිම 6 දෙනා අතරට ආපු එකගැන මට සන්තෝෂයි.

‘අකලංක ඩාන්සින් ස්ටාර් වීම ගැන මොකද හිතන්නේ’

අකලංක අයියා ඩාන්සින් ස්ටාර් වෙනවා කියලා මමත් ප‍්‍රාර්ථනා කළා. එයා ගොඩක් හිත හොඳ කෙනෙක්. එයා හොඳට ඩාන්ස් කළා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා.

එහෙත් මේ තරගාවලිය පුරා ගැහැනු ළමයින්ගේ දක්ෂතා කැපී පෙනුණ බව ඇයද කියන්නීය. ශලිනි ‘ඩාන්සින් ස්ටාර්’ තරගාවලියේ කැපී පෙනෙන නර්තන ශිල්පිනියක වුවද මේ දිනවල ඇය වඩාත් කැපී පෙන්නේ පුංචි තිරයේ තුළයි. මේ දිනවල ඇය රංගනයෙන් දායකවන ජනපි‍්‍රය ටෙලිනාට්‍ය කීපයක්ම විකාශය වේ.

‘මං හරි ආසයි ‘පූජාසනය’ ටෙලි නාට්‍යයේ මගෙ චරිතයට. ඒ වගේම ‘හංසි’ ටෙලි නාට්‍යයේ චරිතයටත් මම කැමතියි’.

‘මේ දවස්වල මොකද කරන්නේ’

‘මොකුත් විශේෂ දෙයක් නෑ’. රවීන්ද්‍ර විජේරත්න මහත්තයාගේ නාට්‍යයක් රඟපානවා.

‘එච්චරද’

‘ඔව්.ඇයි’

‘ අද කොහෙද ගිහින් ආවේ’

‘ආ... ඩාන්සින් ප‍්‍රැක්ටිස් ගියා...

මේ දවස්වල ඩාන්සින් ෂෝ වලට ආරාධනා එනවනෙ...

සිරස කුමරියෙන් පසු ශලිනි ප‍්‍රථමයෙන් රඟපාන්නේ ‘පතිනි’ ටෙලි නාට්‍යයේය.

‘කොහොමද ඒ අත්දැකීම’

‘ගොඩක් හොඳයි. මට ගොඩක් උදව් කළා. ඉතින් හරි ආසාවෙන් මම මගෙ කොටස කළා. ‘ඉසුරු භවන’ ටෙලි නාට්‍යයේදී ප‍්‍රවීණයෝ ගොඩක් අය මගෙ අඩුපාඩු කියලා දීලා මට රඟපාන්න උදව් කළා.

‘ඔයා නිළියක් වෙන්නමද හිතන් හිටියේ’

‘නෑ’

‘එහෙනම්’

‘මම ආසාවෙන් හිටියේ ලෝයර් කෙනෙක් වෙන්න. ඒත් ඉතින් ඒක හරි ගියේ නෑ.

‘තාමත් ප‍්‍රමාද නෑනේ’

‘අනේ දැන් බෑ. මට දැන් ඕනේ ගුවන් සේවිකාවක් වෙන්න...’

ඇය කියන්නේ බලාපොරොත්තු දැල්වුණු දෑසිනි. ශලිනිගේ උපන් ගම බලංගොඩය. ඇය දැන් ඇගේ මවගේ ගම් පළාත වන

මීගමුවේ පදිංචිව හිදී...ඇයට ගුවන් සේවිකාවක වන්නට සිත් දුන්නේ මීගමුවට පැමිණි පසුව බවයි ඇය කියන්නේ.

ශලිනිගේ බාල කාලය ගෙවුණේද බොහෝ සුන්දර අත්දැකීම් සමඟිනි. නටන්නට උපන් හපන් කම් ඇති වුවද නැටුම් පංතියකටවත් ඈ නොගියාය.

පුංචි කාලේ වැඩියෙන්ම කළේ මොනවද’

Films බැලුවා’ සිංදු ඇහුවා.

සිංහල Films

‘අනේ නෑ. ඔක්කොම හින්දි ෆිල්ම්.

‘ඔයා වැඩියම ආස හින්දි නළුවා කවුද’

‘ඉස්සර ෂාරුක්ට කැමතියි. ඒත් ඉතින් දැන් එයා වයසයිනේ. දැන් සල්මන් ඛාන්ට කැමතියි.

‘ආ.. තව කෙනෙක් ඉන්නවා.’

‘අපේ යොවුන් නළුවෙක්ද’

‘නෑ අනේ. සූර්යා’

ඇය සිනහවෙමින්ම කීවේ ඍජුව අප දෙස බලමිනි. ශලිනි තාරකා කලා කේෂ්ත‍්‍රයට පිවිස දැන් වසර දෙකක් පමණ ගතවී තිබේ. ගෙවී ගිය ඒ අතීත කාලය පිළිබඳව ඇය සිතන්නේ මෙලෙසිනි.

‘මට ගොඩක් සන්තෝසයි. මේ කාලයට මං ටෙලිනාට්‍ය පහක රඟපෑවා මං හිතන්නේ. මට ඒවාට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා.

ඔයා චිත‍්‍රපටයක රඟපාලා නැද්ද’

‘දැන් නම් චිත‍්‍රපටයකට කතා කරලා තියෙනවා. ඉතින් මට හොඳට කරන්න පුළුවන් දෙයක් නම් මම කරනවා.’

කිසිවිටකත් වෘත්තිය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු නොකරන බව ඇය කියන්නීය. ඇගේ අදහස වන්නේ තමන්ට කළ හැකි හොඳ චරිතයක් පමණක් ලැබුණොත් එය කරන්නටය.

‘ශලිනිගෙ වයස කීයද’

‘කියන්නම් ලියන්න එපා’

ඇයි අහන්නේ...’

‘ආස නැද්ද ඉක්මනට බඳින්න’

ශලිනි ඇයට ආවේනික කටකාර දඟකාර සිනහාවෙන්ම පිළිතුරු දුන්නාය.’

‘කොහෙත්ම නෑ. මම තාම පොඩියිනේ. A/L කරන්නේත් ලබන අවුරුද්දේ’

ඔයා කැමති කොයි වගේ කෙනෙක්ටද?

ෂාරුක් ඛාන් නම් දැන් වයසයි. සල්මන්ටත් කෙනෙක් ඉන්නවානේ...

සූර්යා වගේ කෙනෙක් හොඳයි...

විහිළු නෙවෙයි ඇත්තටම අහන්නේ..

‘මට අවංකව ආදරේ කරන හොඳ කෙනෙක්. හැබැයි 5’8 ට වඩා උස වෙන්න ඕනේ.

සොඳුරු සිනහවත්, දයාබර කතාබහත් සමීප ඇසුරත් නිසා ශලිනි බොහෝ දෙනෙකුගේ සිත්ගත් තැනැත්තියක් වෙතැයි මට සිතෙයි.

රංගන ශිල්පිනියක් ලෙස දුර ගමනක් යද්දී මුල සිටම ඇයට බාධක නොවූයේත්, ඉද හිටක එන බාධකයන් ඇය සිනහවී මග අරින්නේ ඈ සතු ඒ ගුණාංගය නිසා විය යුතුය.

‘ඔයාගෙ අනාගත බලාපොරොත්තු මොනවාද?’

‘විශේෂ දෙයක් හිතලා නෑ. ලබන අවුරුද්දේ A/L කරනවා. ඩාන්සින් පැත්තෙනුත්, රංගනය පැත්තෙනුත් ඉස්සරහට යන්න තමයි හිතන්නේ.’

‘මේ ගමන එද්දි ඔයාට උදව් කළ අය මතක් වෙනවාද?

‘ගොඩක් අය හින්දයි මම අද මෙතන ඉන්නෙ. මගෙ පවුලේ අය, සිරස රසික රසිකාවන්, අනේ ගොඩක් ඉන්නවා.

ඒ හැම දෙනාම මම ආදරෙන් මතක් කරනවා.

ඇය මෙවර කීවේ තුනී වේගෙන යන සියුම් මදහසකිනි.

ශලිනිගේ අපූර්ව රංගනයත්, ඩාන්සින් ස්ටාර් වේදිකාවේ ඇය මැවූ නර්තනයත් අතීතයට පමණක් එක් නොවන සොඳුරු චමත්කාරයක්ම වේවායි අපෙගේ හෘදයාංගම ප‍්‍රාර්ථනාවයි.




No comments: